ලංකා ජාතික ශිෂ්‍ය සංගමය යනු මෙරට බිහිවූ පලමු ශිෂ්‍ය සංවිධානයයි.

Pages

මිනිස්‌ ඉතිහාසයේ නව යුගයක්‌... ඔක්‌තෝබරය රතු පැහැයට හැරවූ විප්ලවයක්‌



ඔක්‌තෝබර් සමාජවාදී විප්ලවයේ 95 වැනි සංවත්සරය 2013 නොවැම්බර් මස 07 වැනි දින තිබුණි. ඒ නිමිත්තෙනි.



1917 රුසියානු පෙබරවාරි විප්ලවයෙන් සාර් රජු බලයෙන් පහකර අගමැති කෙරෙන්සි ප්‍රමුඛ ධනපති ආණ්‌ඩුවට බලය මාරු වුවද පෙබරවාරි විප්ලවයේ ජනතා ඉල්ලීම් ඉටු නොවීය. අප්‍රේල් 4 වැනිදා බොල්ෂෙවික්‌වරුන්ගේ රැස්‌වීමකදී ලෙනින් විප්ලවීය නිර්ධන පංතියේ කර්තව්‍යයන් ගැන සිය සටහන් කියවීය. මේවා "අප්‍රේල් සටහන්" වශයෙන් ඉතිහාස ගත වී ඇත. ඒ මගින් ලෙනින් ධනේශ්වර පන්තියට බලය ලබා දුන්නා වූ 1917 පෙබරවාරි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සිට කම්කරු පන්තියට හා දුප්පත් ගොවීන්ට බලය ලබා දෙන්නා වූ සමාජවාදී විප්ලවයට සංක්‍රාන්ත වීම ක්‍රියාත්මක කිරීම සඳහා මූර්ත, නියත සැලැස්‌මක්‌ සකස්‌ කළේය.

ලෙනින්ගේ නායකත්වය යටතේ බොල්ෂෙවික්‌වරු පක්‍ෂයේ වැඩපිළිවෙළ කම්කරුවන්ට, යුද භටයන්ට සහ ගොවීන්ට පැහැදිලි කර දුන් අතර බහු ජනතාවට දේශපාලන අධ්‍යාපනයක්‌ දීමේ සහ ඔවුන් සංවිධානය කිරීමේ කටයුතු කර ගෙන ගියහ.

ලෙනින් "රජය සහ විප්ලවය" නමැති සිය ග්‍රන්ථයෙන් සමාජවාදී සමාජයේ සංවර්ධනයෙහි අදියර දෙකක්‌ වශයෙන් විස්‌තර කළේය.

මාක්‌ස්‌ සහ එංගල්ස්‌ගේ අදහස්‌ සංවර්ධනය කරමින් සමාජවාදය අවසාන වශයෙන් කොමියුනිස්‌ට්‌ වාදය බවට විකාශය වන බව ඔහු පෙන්වා දුන්නේය.

කැරැල්ල කල් දැමීමට ඉදිරිපත් කරන ලද සියලුම තර්ක ලෙනින් තරයේ ප්‍රතික්‍ෂේප කළේය. ධනේශ්වර පංතිය මෙම ප්‍රමාදයේ වාසිය විප්ලවීය බලවේග විනාශ කර දැමීමට ඉවහල් කර ගනු ඇතැයි ඔහු කීවේය.

සන්නද්ධ නැගිටීම 1917 ඔක්‌තෝබර් 25 වැනි දාට යොදා ගෙන තිබූ සෝවියට්‌ සභාවල දෙවැනි සමුළුව ආරම්භවීමට පෙර පටන්ගත යුතුය යෑයි ද, එදිනට විප්ලවයට තීරණාත්මක ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැරසෙමින් සිටින, ප්‍රතිවිප්ලවවාදී බලවේගවලට ඉස්‌සර විය යුතු යෑයි ද ලෙනින් ස්‌ථිරසාර ලෙස කියා සිටියේය. යුද්ධ මධ්‍යස්‌ථානයෙහි නියෝග අනුව රතු හමුදාව හා යුද භටයෝ පුවත්පත් කාර්යාලය සිය ආරක්‍ෂාව යටතට ගත් අතර, කැරැල්ලේ මූලස්‌ථානය පිහිටි ස්‌මෝල්නි ආයතනය මුර කිරීම සඳහා ඒ අවට භටයෝ රැඳවූහ.

අවිගත් නැගිටීම

ඔක්‌තෝබර් 25 වැනි දා පරණ ජුලියස්‌ සීසර් කැලැන්ඩරයට අනුව (නොවැම්බර් 07) උදේ වන විට මධ්‍යම දුරකථන හුවමාරු මධ්‍යස්‌ථානය, විදුලි සංදේශ කාර්යාලය, ගුවන් විදුලි මධ්‍යස්‌ථානය, නේවා ගඟ හරහා තිබූ පාලම, දුම්රියපළවල් සහ අගනුවර පිහිටි සියලු වැදගත් රජයේ කාර්යාල කැරැලිකාර කම්කරුවන්, යුද භටයන් හා නාවිකයන් විසින් අල්ලා ගනු ලැබ තිබිණි.

පස්‌වරු 2.30 ට පෙට්‍රෙග්‍රෑඩ් සෝවියට්‌ සභාව එහි ඓතිහාසික රැස්‌වීම පැවැත්වීය. ශාලාව තුළට ලෙනින්ගේ පිවිසීම ඝෝෂාකාරී උෙද්‍යාaගයක දර්ශනයක්‌ ජනිත කළේය.

සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය හා සෝවියට්‌ බලය ඉදිරියේ ඇති කර්තව්‍යයන් පිළිබඳ ඓතිහාසික කතාවක්‌ කළ ඔහු රුසියාවේ සමාජවාදය ජයග්‍රහණය කරන්නේ යෑයි සිය විශ්වාසය පළ කළේය. "අද සිට රුසියන් ඉතිහාසයේ නව යුගයක්‌ පටන් ගනී. එසේම මෙය, තුන්වැනි රුසියන් විප්ලවය, අවසානයේ දී සමාජවාදයේ ජයග්‍රහණය කරා ගමන් කළ යුතු බව ඔහු කීය. ඔක්‌තෝබර් 25 වැනි දින රාත්‍රියේ තාවකාලික ආණ්‌ඩුවක ඇමැතිවරුන් රැස්‌වී සිටී. හිම මාලිගය වහාම අල්ලා ගන්නා ලෙස ලෙනින් නියෝග කළේය. "අව්රෝරා" නෞකාවෙන් නිකුත් වූ ඓතිහාසික වෙඩි ප්‍රහාරයෙන් හිම මාලිගයට පහර දීමේ සංඥව දෙන ලදී. විප්ලවීය හමුදා ඒක ක්‍ෂණිකව දරුණු ප්‍රහාරයකින් හිම මාලිගාව අල්ලා ගත්හ. ධනේශ්වර ආණ්‌ඩුවේ අන්තිම ආරක්‍ෂක පවුර බිඳ වැටුණි. ධනපති ආණ්‌ඩුවේ අගමැති කිරෙක්‌කි කාන්තාවක්‌ මෙන් වෙස්‌ මාරු කර ගෙන ගොස්‌ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගත්තේය.

ප්‍රථම ගොවි කම්කරු රාජ්‍ය බලය

ශ්‍රේෂ්ඨ ඔක්‌තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය මිනිස්‌ සංහතියේ ඉතිහාසයේ නව පිටුවක්‌ පෙරළීය. එය සාර් අධිරාජ්‍ය බිඳ වැටීමේ හා සමාජවාදය ජයග්‍රහණය කිරීමේ නව යුගය ආරම්භ කළේය. ඔත්කෝබර් විප්ලවය විසින් ලෝකයේ යටත් විජිත ක්‍රමය බිඳ දැමීම හා ජාතීන්ගේ නිදහස තහවුරු කළහ.

ඔක්‌තෝබර් විප්ලවය මිනිස්‌ ඉතිහාසයේ සිදු වූ අනිකුත් විප්ලවවලට වඩා වෙනස්‌ වෙන්නේ එය කම්කරු පංතිය දුප්පත් ගොවීන් මගින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන බලය දිනාගත් බැවිනි. ඔවුන්ගේ දේශපාලන බලයේ ස්‌වරූපය වූයේ සෝවියට්‌ සභාවන්ය, එය දේශපාලන පක්‍ෂයක නිර්මානයක්‌ නොව 1905 රුසියානු විප්ලවය සමයේදී කම්කරුවන් විසින් නිර්මාණය කර ජනතාව විසින් ඉදිරිපත් කරන ලද පාලන ක්‍රමයකි.

කම්කරු පංති දේශපාලන බලය පිහිටුවීමේ මඟ ජාත්‍යන්තර නිර්ධන පංතියට පෙන්වූයේ ද ඔක්‌තෝබර් විප්ලවය විසිනි.

සැලසුම් සහගත ආර්ථික ක්‍රමය බිහිවූයේ ද, ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා කිසිම ජාතියකට වරප්‍රසාද දීමෙන් තොරව සියලුම ජාතීන්ට සමාන ලෙස සැලකීමත්, වැඩකරන ජනතාවට පැය 8 ක වැඩ දිනයක්‌ ලබාදීම, ගැබිනි මව්වරුන්ට සති 16 ක නිවාඩුවක්‌ ලබාදීම, කාන්තාවන් සියලු සූරාකෑම් වලින් නිදහස්‌ කිරීම, වැඩ කිරීමට නොහැකි කම්කරුවන්ට පූර්ණ සමාජ සුරක්‍ෂිතභාවය ලබාදීම, නිවාස පහසුකම්, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ප්‍රථම වතාවට නොමිලේ ලබා දුන්නේ ඔක්‌තෝබර් විප්ලවයෙන් බිහි වූ සෝවියට්‌ පාලනය විසිනි.

1990 දී නැගෙනහිර යුරෝපයේ පැවැති සමාජවාදී පාලනය සහ 1991 සෝවියට්‌ දේශය බිඳ දැමීම ගැන සලකා බැලීමේදී 1917 දී ඔක්‌තෝබර් විප්ලවයෙන් බිහි වූ ගොවියන්ගේ හා කම්කරුවන්ගේ පාලනය බිඳ දැමීමට අධිරාජ්‍යවාදී රටවල් සහ අභ්‍යන්තර ප්‍රතිවිප්ලවවාදී හා ප්‍රතිගාමී බලවේග උත්සාහ දැරූ අවස්‌ථා බොහෝය. 1918 සෝවියට්‌ බලයට විරුද්ධව සිවිල් යුද්ධයක්‌ ආරම්භ වූ අතර ඊට විදේශ අධිරාජ්‍යවාදී රටවල් 14 ක යුද හමුදාවල ආධාරය ලැබිණි.

රතු හමුදාව සෝවියට්‌ ජනතාව එකාවන්ව නැගී සිට ප්‍රතිවිප්ලවය සහ විදේශ ආක්‍රමණය මැඬ පවත්වනු ලැබීය. ප්‍රතිවිප්ලවවාදීන් විසින් කප්ලාන් නමැති කාන්තාවක්‌ යොදාගෙන 1918 වර්ෂයේ දී ඔක්‌තෝබර් විප්ලවයේ නායකයා වූ වී. අයි ලෙනින් වෙඩිතබා ඝාතනය කිරීමට උත්සහ දැරුවද එහි දී ලෙනින්ගේ ජීවිතය බේරාගැනීමට හැකිවුවද 1924 ලෙනින්ගේ මරණයට එම වෙඩිතැබීම හේතුවිය.

2 වැනි ලෝක යුද්ධයේ දී පැසිස්‌ට්‌වාදී ජර්මනිය ඉතාලිය සහ ජපානය විසින් සෝවියට්‌ දේශය ආක්‍රමණය කර සමාජවාදී ක්‍රමය බිඳ දැමීමට උත්සාහ කළද රතු හමුදාව සහ සෝවියට්‌ ජනතාව සතුරාගේ ආක්‍රමණ නවතා නැගෙනහිර යුරෝපය පැසිස්‌ට්‌වාදයෙන් මුදා ගනු ලැබුවේය. ආසියාව වියට්‌නාමය, චීනය, ලාඕසය, කොරියාව සමාජවාදී මාර්ගයට පිවිසුනේය.

ජෝෂප් ස්‌ටාලින්ගේ පාලන කාලයේ සමාජවාදී ගොඩනැගීම පිළිබඳ මාක්‌ස්‌ගේ හා ලෙනින්ගේ ඇතැම් ඉගැන්වීම්වලින් බැහැරවීම තුළින් පක්‍ෂය තුළ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය දුර්වලවීම නිලධාරිවාදී ප්‍රවනතා වර්ධනය වීම තුළ සමාජවාදයේ විවිධාකාර සතුරු බලවේග පක්‍ෂය තුළ සහ සෝවියට්‌ සමාජයේ ක්‍රියාත්මකවීමට ඉඩ සැලසුනේය.

1991 සෝවියට්‌ දේශය බිඳ දැමීම

1953 ස්‌ටාලින් මියයැමෙන් පසු බලයට පත් වූ නිකිතා කෘසෙව් 1956 සෝවියට්‌ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ 20 වැනි සම්මේලනයේ දී හෙළිදරව් කළේ ස්‌ටාලින් ළඟින් සිටි සගයින් අතර ප්‍රධාන සගයා වූ ඒ වන විට උප අගමැති වූ ලෙව් බෙරියා 1919 සිට ප්‍රතිවිප්ලවකාරී ක්‍රියාවල යෙදී සිටි බවයි. 1941 පක්‍ෂයේ නායකයන් ඇතුළු දේශපාලන සිරකරුවන් ලෙස සිටි 25 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට ඔහු නියෝග දුන් බවයි. ඔහු ඇතුළු ඔහුගේ සගයන් දෙදෙනකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් විය.

1991 සෝවියට්‌ පාලනය බිඳ දැමීම සඳහා බාහිර අධිරාජ්‍යවාදී බලවේග අභ්‍යන්තර ප්‍රතිවිප්ලවවාදී බලවේග යොදාගනු ලැබීය. මිහායිල් ගොර්බචොෆ් පාලනයේ විදේශ ඇමැතිව සිටි සවර්නාස්‌යේ වැනි අය බාහිර අධිරාජ්‍ය වාදී බලවේග විසින් මේ සඳහා යොදා ගත් බව පිළිගත හැකිය. ලියනොව් බ්‍රෙෂ්නෙව් පාලන කාලය තුළ සෝවියට්‌ දේශය ආර්ථික වශයෙන් එකතැන පල්වීම. බටහිර ධනවාදී රටවල් විද්‍යා තාක්‍ෂණය, ආර්ථික නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීමට සමත්වීමත්, සෝවියට්‌ දේශය ඇෆ්ගනිස්‌ථාන යුද උගුලකට ගොදුරුවීමත්, අභ්‍යන්තර හේතූන් ලෙස සැලකිය හැකිය.

සෝවියට්‌ දේශය සහ නැගෙනහිර යුරෝපය සමාජවාදී ක්‍රමය බිඳ දමා වර්ෂ 23 ක්‌ ගත වී ඇත. මේ පිළිබඳ වර්ෂ 2010 දී ජර්මනිය තුළ සිදු කළ මතවිමසුමේ දී නැගෙනහිර ජර්මනියේ ජනතාවගෙන් 53% ක්‌ මත පළකර තිබුණේ කලින් තිබූ සමාජවාදී ක්‍රමය දැන් තිබෙන ධනපති ක්‍රමයට වඩා හොඳ බවයි.

බටහිර ආර්ථික විද්‍යාඥයන් ප්‍රකාශ කළේ සෝවියට්‌ දේශය බිඳ දැමීමෙන් පසු මාක්‌ස්‌ වාදය අදට වලංගු නැති බවත්, මාක්‌ස්‌ කියූ සමාජ සංවර්ධනය නතර වී ඇති බවත් යන්නයි.

2008-2009 වන විට ලෝකයේ විශාලතම ආර්ථිකය වූ "ඇමරිකාවේ" ඇති වූ මූල්‍ය අර්බුදය 1930 න් පසුව ඇති වූ ධනවාදයේ මහා අර්බුදය මේ වන විට බටහිර යුරෝපය, ග්‍රීසිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් පුරා පැතිර ගොස්‌ය. ඇමරිකාවේ ජනගහනයෙන් කෝටි 4 ක්‌ ආහාර සලාකයෙන් ජීවත් වෙන තත්ත්වයට හා කෝටි දෙකකට රැකියාවල් අහිමි වී හැම ඇමරිකානුවන් 7 දෙනකුගෙන් එක්‌ අයෙක්‌ දුප්පතෙකු බවට පත් වී ඇත. බටහිර සමාජ හා ආර්ථික විශේෂඥයන් පවසන්නේ කාල් මාක්‌ස්‌ගේ ධනවාදය පිළිබඳ අනාවැකි සත්‍ය වී ඇති බවයි. සමාජවාදී අරමුණු ඇතිව සංවර්ධනය වෙන චීනය, වියට්‌නාමය, කියුබාව, ලාඕසය වැනි රටවල් වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ හිමිකර ගෙන ඇත. ධනවාදය වෙනුවට එකම විකල්පය සමාජවාදයයි. කාල් මාක්‌ස්‌ කී ලෙස සමාජය දිගටම සංවර්ධනය වෙයි. මිනිස්‌ වර්ගයා මතු දිනක පරණ ධනවාදී සමාජ ක්‍රමය වෙනුවට වඩා සාධාරණ නව සමාජ ක්‍රමයක්‌ නිර්මාණය කරනු ඇත. ඔක්‌තෝබර් විප්ලවයේa අත්දැකීම් අනාගතයටත් වලංගු වන්නේය.

එස්‌. සුදසිංහ