ලංකා ජාතික ශිෂ්‍ය සංගමය යනු මෙරට බිහිවූ පලමු ශිෂ්‍ය සංවිධානයයි.

Pages

නොමැකෙන පිය සටහන්

අපි දේශපාලනයත් කළා හොඳටත්... එකටත් හිටියා

කො මියුනිස්ට් පක්ෂය නියෝජනය කළ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විදියට තමයි මම කටයුතු කළේ. මගේ අධ්‍යයන කාලය වුණේ 1969 සිට 1972 කාලයයි. ඒ කාලේ ශිෂ්‍යයන් අතරත් ශිෂ්‍යයන් සහ ගුරුවරු අතරත් ලොකු බැදීමක් තිබුණා. ඕන කෙනෙකුට නිදහසේ තමන්ගෙ වැඩකටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබුණා.”
එහෙම කියන්නෙ නිමල් විජේවීර. ඔහු අධ්‍යාපනය හැදෑරුවෙ කැලණිය විශ්වවිද්‍යාලයෙ.
“ඒ කාලේ අද මහාචාර්ය නවරත්න බණ්ඩාර මහතා තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ ශිෂ්‍ය සංගමයේ සභාපති. ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරෙහි සේවය කළ හේමචන්ද්‍ර මහත්මයා තමයි කොළඹ විශ්ව විද්‍යාලයෙ සභාපති. එතකොට ගාල්ල අධ්‍යාපන කාර්යාලයෙ සහකාර අධ්‍යක්ෂවරයකු සිට මිය ගිය අමරදාස මාතරගේ මහතා තමයි ජ’පුර විශ්වවිද්‍යාලයෙ සභාපති.”
විජේවීර මහතා ශිෂ්‍ය සභාපති ධූරය දැරූ යුගයේ සිටි සියලු ශිෂ්‍ය නායකයන් මෙන් විජේවීර මහතා ද රැකියාවකට සම්බන්ධ වූවා. ඒ 1975 වසරේදී. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාර තනතුර තමයි ඔහුගෙ රැකියාව වුණේ.
* ශිෂ්‍ය සංගම් තමන්ගේ දේශපාලන පක්ෂ සමඟ තිබුණ ගනුදෙනුව කොහොමද?
“ශිෂ්‍ය සංගම් කටයුතු කළේ පක්ෂයේ අරමුණු සමඟ තමයි. හැම ශිෂ්‍ය සංගමයක් ම යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් නියෝජනය කළා. මේ ශිෂ්‍ය සංගම් සමඟ කටයුතු කරන්න ඒ ඒ පක්ෂවල නියෝජිතයෙක් පත් කර තිබුණා.
එහෙත් අපි පක්ෂය කියන හැටියට සියයට සියයක් වැඩ කළේ නැහැ. පක්ෂය ආණ්ඩුව සමඟ යම් වැරැදි තීරණයකට ආවොත් අපි ඊට විරුද්ධ වුණු අවස්ථා තිබුණා.
* ඒ කාලේ ඔබේ ශිෂ්‍ය සංගමය ප්‍රතිවාදී ශිෂ්‍ය සංගම්වලට විශ්වවිද්‍යාලයේ ගොඩනැඟෙන්න ඉඩ දුන්න ද?
“ශිෂ්‍යයන්ට නිදහසේ සිය අදහස් ප්‍රකාශ කරන්න ඉඩ තිබුණා. ඉමිටියාස් බාකීර් මාකර් කියන්නෙ මගෙ ප්‍රතිවිරුද්ධ ශිෂ්‍ය සංගමයේ හිටපු ක්‍රියාකාරී නායකයෙක්. ඒත් අපි මිතුරො.”
විජේවීර මහතාගේ සභාපතිත්වයෙන් යුතු ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ කාරක සභිකයන් ලෙස කටයුතු කළ තවත් දෙදෙනෙකි. එක් අයකු දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ය. අනෙක් ශිෂ්‍ය සභිකයා රූපවාහිනී සංස්ථාවේ වර්තමාන සභාපති සරත් කෝන්ගහගේ මහතා ය.
“ඒ කාලේ අපේ ආචාර්යවරු හා අප අතර ලොකු සම්බන්ධයක් තිබුණා. ඒ නිසා ඇතැම් සිද්ධීන් ගොඩින් බේරා ගන්න අපට පුළුවන් වුණා. මට මතකයි අපේ ශිෂ්‍ය උපදේශක වෙලා හිටියෙ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා. එතුමා ශිෂ්‍යයන් සමඟ ඉතා සුහදශීලීව නම්‍යශීලීව කටයුතු කළා.”
* ඇත්තද සර් මේ කියන්නෙ?
අපි ඇසුවෙ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතාගෙන්.
“අපොයි ඔව්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයො සමඟ කටයුතු කරන්න ඕනෙ හොඳ අවබෝධයකින්. සුහදශීලී, නම්‍යශීලී නොවේ නම් ඒ කියන්නෙ ගැටුම් දුරදිග යනවා කියන එකයි.”
අනෙක ඒ කාලේ ශිෂ්‍යයො මේ තරමට දේශපාලනීකරණය වෙලා තිබුණෙ නැහැ. අනෙක අභ්‍යාස පංතිවල දී ළමයි හා ගුරුවරු අතර සමීප සම්බන්ධයක් ගොඩ නැඟුණා. ගුරුවරු හා ශිෂ්‍යයන් විවෘතව කථා කළා. දෙගොල්ල අතර මොන මතිමතාන්තර තිබුණත් ගුරුවරු ශිෂ්‍යයන්ට හොඳින් ඇහුම්කන් දුන්නා.”
විද්‍යෝදය විශ්වවිද්‍යාලයට මුල් වරට ශිෂ්‍යාවන් පැමිණි පසු (1966 )
ඡායාරූපය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තාන්තය ග්‍රන්ථයෙනි
විජේවීර මහතා කියා සිටියේ එදා සිටි සිය ගුරුවරුන් පඬිවරුන් බවයි. මේ අදහස සමඟ පල්ලියගුරු මහතා ද දක්වන්නේ එකඟත්වයක්.
“ඇත්තටම එදා ආචාර්යවරු මේ රැකියාව කළේ හැඟීමකින්. අද ඉන්න බහුතරයක් ගුරුවරු වගේ පැය අටේ රස්සාව කරලා ගෙදර ගියේ නැහැ. මම මගේ රැකියා කාලයෙන් අවුරුදු 17 ක් ම නාස්ති කරගත්තෙ ශිෂ්‍ය උපදේශක තනතුරේ ඉඳලයි. ඒ කාලෙදි මගෙ ලියන කියවන වැඩ සම්පූර්ණයෙන් ම වගේ ඇණ හිටියා.”
* ඔබතුමා මේ කාලෙදි කවදාවත් ශිෂ්‍ය හිරිහැරයකට ලක්වෙලා නැද්ද?
මොකද නැත්තෙ. මම තමයි 89 භීෂණ යුගයේ ශිෂ්‍යයන්ගෙ මුල් ම ප්‍රාණ ඇපකරුවා. මාව අල්ලලා හිරකරගත්තම මම ඔවුන්ට කිව්වා තමුසෙලා මාව හිර කරගත්තට කමක් නෑ. දවල් දොළහ වෙද්දි මොන්ටිසෝරියේ ඉන්න මගේ පුතා අරගන්න මට යන්න දෙන්න කියලා. ඔවුන් දොළහට දොර ඇරල මට කිව්වා “සර් යන්න” කියලා. එළියට ආවට පස්සෙයි මට මරණ බය දැනුණෙ. ඊට පස්සෙ නිවාස අඩස්සියට ගත් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති පටුවත විතාන, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර වගේ කීප දෙනෙක් ඝාතනයට ලක්වුණා.
හැබැයි මාව නිවාස අඩස්සියට ගත්තෙ අපේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයො නොවේ. වෙන විශ්වවිද්‍යාලවලින් ආ මා නොහඳුනන ශිෂ්‍යයොයි. පස්සෙ අපේ ශිෂ්‍යයො ඇවිත් මගෙන් සමාව ගත්තා.
ශිෂ්‍යයන්ගේ නිවාස අඩස්සියට පත් වූවා මෙන් ම ශිෂ්‍යයන් වෙනුවෙන් රාජකීය කොමිසමක් ඉදිරියේ දඬුවම් විඳින්නට පල්ලියගුරු මහතාට සිදුවුණා. ඒ විශ්වවිද්‍යාල පිළිවෙතට පිටින් බඳවා ගත් විද්‍යා ගණිත ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දුන් නවක වදය පාලනය කිරීමට කටයුතු නොකළා ය යන චෝදනාවට.
“මොනවා කරන්නද කුලරත්න කොමිසම හමුවේ දඬුවම් විඳින්නත් මට සිදුවුණා.”
* ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටි යුගය මතක් කළොත්?
විශ්වවිද්‍යාල ශිෂ්‍ය කාලයේදී අපිත් ක්‍රියාකාරී ශිෂ්‍ය සාමාජිකයො. මම නියෝජනය කළෙත් ලංකා ජාතික ශිෂ්‍ය සංගමය. ඒ වගේ ම සිංහල සංගමයෙ සඟරා සංස්කාරකවරයා වුණෙත් මම. මේ සියලු අත්දැකීම් මත මම අද ශිෂ්‍යයො දිහා සානුකම්පිතව බලන්නෙ කොන්දේසි විරහිතව. අද අපේ ආචාර්යවරුන් ළමයි දෙකට බෙදාගෙන. ඒක හොඳ තත්ත්වයක් නොවේ.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයො! වරින් වර මෙරටට පුවත් මවන්නෝ ය. ඔවුන්ගේ ඇතැම් පුවතක් ඉතා ශ්‍රේෂ්ඨ වන අතර, තවත් පුවතක් ඉතා ඛේදජනකය.
පල්ලියගුරු මහතාගේ ශිෂ්‍ය අවබෝධය සම්බන්ධයෙන් සාක්ෂි දරන තවත් ශිෂ්‍ය නායකයෙක් වන්නේ හිටපු මන්ත්‍රීවරයකු හා ඇමැතිවරයකු වන ඉම්තියාස් බාකීර් මාකර් මහතාය.
“ඒ කාලේ මැතිනියගෙ බලය තිබුණ කාලේ. කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය නියෝජිතයන්ට තමයි විශ්ව විද්‍යාලයෙ බලය තිබුණේ. අපිට ඕන වුණා එජාප නියෝජනය කරන ශිෂ්‍ය සංගමයකුත් හදන්න.
* හදන්න පුළුවන් වුණා ද?
ඔව්. අපි සමවාදි ශිෂ්‍ය සංගමය පටන් ගත්තා. ගාමිණී දිසානායක මහතාට දේශනයකටත් ආරාධනා කළා. එහෙම කෙනෙක් ගෙන්වනවානම් උපකුලපතිවරයාගෙන් අවසර පතන ලිපියට අපේ ශිෂ්‍ය උපදේශක අස්සන් කළ යුතුයි. අපේ පල්ලියගුරු සර් තමයි ඊට අස්සන් කළේ. එතුමා අනෙක් ශිෂ්‍යයන්ට පැහැදිලි කර දුන්නා අපේ අයිතියටත් ඉඩක් අවශ්‍ය බව.
* කොමියුනිස්ට් වාදී ශිෂ්‍යයො ගාමිණි දිසානායක මහතා කැඳවාගෙන එන්න ඉඩ දුන්න ද?
වාහනය උඩට ගන්න දුන්නෙ නැහැ. පල්ලියගුරු සර් තමයි මා එක්ක ආවේ එතුමව කැන්දන් යන්න. හැබැයි ඉතිං එකම “හූ”ව. හැබැයි වෙනම කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. දිසානායක මහත්තයත් හූ කියපු අයටත් අත වැණුවා.
අප මුලින්ම කථා කළ විජේවීර මහතා පවසා සිටියේ තමන්ගේ යුගයේ සිටියේ ගුරු පඬිවරු බවය.
එක් එක් විෂයන්හි කෙළවර තෙක් ගවේෂණශීලි පර්යේෂණශීලි අධ්‍යයනවල සිය ගුරුවරුන් නියැලුණ බව ඔහු පැවසීය. ඔහු සිහිපත් කළ එවන් එක් ගුරුවරයකු වූයේ ධර්මසේන පතිරාජ මහතා ය.
මහාචාර්ය
චන්ද්‍රසිරි පල්ලියගුරු
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ධර්මසේන පතිරාජ
ජ්‍යෙෂ්ඨ මහචාර්ය
සුනිල් ආරියරත්න
පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී
ඉමිතියාස් බාකීර් මාකර්
* අපි කැමතියි ඔබතුමාගේ ශිෂ්‍ය ජීවිතය ගැන දැනගන්න.
“1963 සිට 1967 වෙන තුරු මම අධ්‍යාපනය හැදෑරුවෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ. මම සම සමාජ පක්ෂය නියෝජනය කළ ක්‍රියාකාරී ශිෂ්‍යයෙක්. විශ්ව විද්‍යාලයෙ නිලතල දැරුවෙ නැති වුණත් පක්ෂයේ ජනතා තරුණයො සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කයේ ලේකම් හැටියට කටයුතු කළේ මම.”
පතිරාජ මහතා පැවසුවා.
ශිෂ්‍යයකු විදියට අධ්‍යන කටයුතු කළ ආකාරය සිහිපත් කළොත්?
අපට හැම දෙයක්ම අධ්‍යනයක්. අපි හැමදේම කළේ අධ්‍යනයක් විදියට. දේශපාලනය, සාහිත්‍ය, වාද විවාද මේ හැම එකක් ම එහෙමයි. අපි විශ්ව විද්‍යාලයෙ කටයුතු බොහෝම නිදහස්ව කළා. අපට ඒ සඳහා යොමු කළ ගුරුවරුන් සිටියා.
ඒ කාලේ වගේ ගවේෂණ පර්යේෂණ කරන ආචාර්ය මහාචාර්ය වරු දැන්නම් හිඟයි.
* කව්ද ඔබේ ගුරුවරු?
“මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සිරි ගුණසිංහ, මහාචාර්ය ආරිය රාජකරුණා වැනි දැවැන්ත ගුරුවරු යටතේ තමයි අපි අධ්‍යාපනය හැදෑරුවේ. සරච්චන්ද්‍ර මහත්තයා මිය යන තුරුම මම එතුමා මුණ ගැසුණා. විදේශගත වෙලා සිටියත් සිරි ගුණසිංහ මහත්තයා ලංකාවට ආ ගමන් එන්නෙ අප මුණ ගැහෙන්න. අපිත් ගුරුවරුන් අතර බොහොම තද බැම්මක් තිබුණා.
* ශිෂ්‍යයන්ගේ දේශපාලන කටයුතු කොහොම ද?
අපිත් පෙළපාළි ගියා. වර්ජනය කළා. උද්ඝෝෂණය කළා. පැහැදිලි ශිෂ්‍ය හා සමාජ අර්බුද වෙනුවෙන් එකම අරමුණක් උදෙසා අපි සටන් වැදුණා. හැබැයි කොයි වෙලාවකවත් අපි දේශපාලන ඉත්තො වුණේ නැහැ.
පතිරාජ මහතාගේ මේ සිහි කිරීමත් සමඟ මගේ මතකයට එන්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” නම් වූ කෘතියයි. එහි ඇතැම් තැනක ඔහු හා ශිෂ්‍යයන් අතර ඇති බැඳියාව අපූරුවට විස්තර කරයි.
“මනමේ නිෂ්පාදනයේදී මට මුහුණ පාන්නට සිදු වූ ඉතා බැරෑරුම් ප්‍රශ්නය නම් නැටුම් ගැයුම් හා රූපණය යන අංශ තුනෙහි ම හැකියාවන් ඇති නළු නිළියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් සොයා ගැනීමය.” (“පිංඇති සරසවි වරමක් දෙන්නේ”)
අමාරුවෙන් සොයා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන ඔහු මෙවැනි සටහනක් තබා තිබුණි.
“....මගේ නාට්‍යයට මේතරම් දක්ෂ නළු නිළි පිරිසක් ලැබුණේ මගේ භාග්‍යයෙන් පමණක් නොව රසිකයන්ගේ ද භාග්‍යය නිසා යයි කිව යුතුය.”
වසර හතරක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය හැදෑරු පතිරාජ මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සේවයට බැඳුණේ 1968 දීය. ඔහු ඒ සේවයෙන් විශ්‍රාම ගත්තේ 2008 වසරේදීය. ඔහු ක්‍රියාකාරී ශිෂ්‍යයකු ලෙසත් ආචාර්යවරයකු ලෙසත් විශ්ව විද්‍යාලය දකින්නේ එලෙසයි.
බුද්ධියේ තෝතැන්න විශ්වවිද්‍යාලයයි. එහෙත් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසන්නේ ක්‍රමයෙන් විශ්වවිද්‍යාල භූමියෙන් කලාව, සාහිත්‍ය, ඵලදායි දේශපාලන අරමුණු, පොදු අරමුණු සියල්ල ගිලිහී යන බවයි. ඒ අතර ඔහු තමන් ශිෂ්‍යයකු ලෙස ගත කළ යුගය ගැන පවසන්නේ මෙවැන්නක්.
අපි විශ්ව විද්‍යාලයට ගියේ විශ්ව විද්‍යාලය (ජ’පුර) සිර කඳවුරක් වෙලා තිබුණ යුගයෙයි. ඒ නිසා අපට දේශන පැවැත්වුණේ තැනින් තැන. තර්ස්ටන් විද්‍යාලයෙ, රාජකීය විද්‍යාලයෙ, ලුම්බිණි විද්‍යාලයෙ වගේ ස්ථාන කීපයක අපට දේශන තිබුණා. ඒ 71 අවුරුද්ද. අපි උද්ඝෝෂණය කළා. එහිදී අපේ පොදු අරමුණ වුණේ විශ්ව විද්‍යාලය නිදහස් කරගැනීමයි. එස්. බී. දිසානායක මහතාත් ඒ කාලෙ ක්‍රියාකාරී ශිෂ්‍යයෙක්. අපි හැමෝගෙම පරමාර්ථය වුණේ විශ්ව විද්‍යාලය නිදහස් කර ගැනීමයි.
විශ්ව විද්‍යාලය නිදහස් කර ගත්තට පස්සෙ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා සුණු පිළියම් කරලා යථා තත්ත්වයට ගත්තෙ අපි.
* ශිෂ්‍යයන් අතර තිබුණ සහජීවනය කෙබඳු ද?
අද වගේ නම් පිරිහීමක් තිබුණෙ නැහැ. ජවිපෙ ක්‍රියාකාරී ශිෂ්‍යයො පෝස්ටර් ඇන්දා පෝස්ටර් ගැහුවා. අපි නිදහසේ නාට්‍ය කෙරුවා. සාහිත්‍ය උත්සව පැවැත්වූවා. සඟරා කළා. කවුරුත් කිසිවකු මර්දනය කළේ නැහැ.
ඒ කාලේ ශිෂ්‍යයො දඩබ්බර නැහැ. ශිෂ්‍ය සංගම් වගේ පොදු ශිෂ්‍යයො තනි වුණේ නෑ. ආචාර්ය මණ්ඩලය නිරන්තරයෙන්ම ඔවුන් සමඟ හිටියා. 71 වගේ ම 89 යුගයේදීත් ශිෂ්‍යයන් බේරා ගන්න ගුරුවරු ඉදිරිපත් වුණා.
දැන් ඉන්න ශිෂ්‍යයො අපි කියන දෙයක් අහන්නෙ නැහැ. මම ඔවුන්ගේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනු කමිටුවේ ශිෂ්‍ය උපදේශක වෙලා හිටියා. ඒත් මම ඒ තනතුරෙන් ඉල්ලා අස්වුණා. මොකද ඔවුන් මම කියන දෙයක් පිළිගන්නෙ නෑ. ඉතිං නමට විතරක් ශිෂ්‍ය උපදේශක වෙලා වැඩක් නැහැනෙ.
අපේ කාලේ ශිෂ්‍ය ව්‍යාපාර ඉතා සක්‍රීයව තිබුණා. දේශපාලනය කරපු අය දේශපාලනය කළා. කවුරුවත් මර්දනය කළෙත් නැහැ. බාහිර දේවල් කළ අය ඒවා කළා.
හැත්තෑ එක අසූ නමය යන යුග දෙකම විශ්වවිද්‍යාලය බොහෝ ප්‍රශ්නවලට මැදිහත් වුණා. ඒත් ගුරුවරුන්, ශිෂ්‍යයන් සමඟ හිටියා. මොකද ශිෂ්‍යයො ගුරුවරුන් සමඟ හිටියා. ඒත් අද වෙන කොට ශිෂ්‍ය සංගමයට ප්‍රධාන භාණ්ඩාගාරික ලෙස පත් කර ගන්න ආචාර්යවරයෙක් හොයා ගන්න බැරි තරමට ඔවුන් හුදෙකලා වෙලා. එහෙම වෙලා තියෙන්නෙ ඔවුන් ගුරුවරුන් සමඟ තිබෙන බැඳීම අත්හැර තිබෙන නිසයි. ඒ නිසා දැන්වත් ඔවුන් ආපසු හැරී බැලිය යුතුයි.
අවසාන වශයෙන් ආරියරත්න මහතා පැවසුවේ එවැන්නකි.