ලංකා ජාතික ශිෂ්‍ය සංගමය යනු මෙරට බිහිවූ පලමු ශිෂ්‍ය සංවිධානයයි.

Pages

මානව හිතවාදී කලවානේ රතු තරුව "සරත් මුත්තෙට්‌ටුවෙගම"


(ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ කලවානේ හිටපු මන්ත්‍රී සරත් මුත්තෙට්‌ටුවේගම දැයෙන් සමුගෙන එළඹෙන 18 වැනිදාට වසර 27ක්‌ සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි)
"කලවාන මන්ත්‍රී සරත් මුත්තෙට්‌ටුවේගම මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වේ" යනුවෙන් 1986.05.19 දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් විකාශනය වූ අවස්‌ථාවේ බොහෝ දෙනෙකුට ඇති වූයේ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ මුදුන් මල්කඩ ගැලවී වැටුණා හා සමාන හැඟීමකි.
සටන්කාමී එඩිතරකමත්, විප්ලවවාදී වගකීමත් යන දෙකම නිහතමානී බව හා අවංක බව එකට එක්‌වූ තැන එයට කියන නම කොමියුනිස්‌ට්‌වාදියා යනුවෙනි. සරත් මුත්තෙට්‌ටුවෙගම ඒ කොමියුනිස්‌ට්‌ තරු අතර, බැබලුණු තරුවකි. සරත්ගේ දේශපාලන චරිතය විප්ලවවාදී චරිත වලින් කොටසකි.
රදළ පවුලක ඉපිද, ඉහළම භව බෝග සම්පත් විඳිය හැකිව තිබියදීත් ශ්‍රී ලංකාවේ පෑගෙන ජනතාව වෙනුවෙන් දශක 3 කට ආසන්න කාලයක්‌ සිය ජීවිතය කැප කළ ඔහු මේ රටේ දේශපාලනඥයන් අතර අද්විතීය ස්‌ථානයකට පත්වූ චරිතයක්‌ විය. මොහු වාමාංශික ව්‍යාපාරය නගරයෙන් ගමට ගෙනා නූතන පරපුරේ සිටි ජනප්‍රියම දේශපාලනඥයා විය.
කුරුවිට කෝරළය කරවූ නෙල්ලිවල සිරිවර්ධන සෙනෙවිරත්න මහීපාල මුදියන්සේ රාළහාමිගේ හර්බට්‌ එක්‌නැලිගොඩ මුත්තෙට්‌ටුවගම රටේ මහතාට සහ පානදුර කුරුප්පුමුල්ලේ විෙ-සේකර වලව්වේ පදිංචි සීලියා විෙ-සේකර මහත්මියට දාව අප කථානායක සරත් මුත්තෙට්‌ටුවගම මහතා ඉපදුණේ 1935 අප්‍රේල් 29 වන දීය. මොහුගේ ජන්ම පත්‍රය සාදා ඇත්තේ රට පතල පඬිරුවනක්‌ වූ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි විසිනි. සරත්ට මයුරාංගනී නම් එක්‌ නැඟණියක්‌ විය. අවාසනාවකට 1948 ජනවාරි 20 වන දින සරත්ගේ ආදරණීය මෑණියන් මෙලොව හැර ගිය බැවින්, ඔවුන් දෙදෙනාට සිය ලොකු අම්මාගේ රැකවරණය ලැබීමට සිදු විය. මූලික අධ්‍යාපනය සඳහා ගුරුතලාව ශාන්ත තෝමස්‌ විදුහලට ඇතුළත් වූ සරත් පසුව ගල්කිස්‌සේ ශාන්ත තෝමස්‌ විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. වයස අවුරුදු 18 දී පමණ නීති විදුහලට ඇතුළත්වූ හෙතෙම 1956 දී නීති විදුහලෙන් පිටවී අධිනීතිඥවරයකු වශයෙන් සමාජයට යම් සේවාවක්‌ කළ අතර, ඔහු දේශපාලන පක්‍ෂය වශයෙන් තෝරාගත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයයි.
සරත් සිය ජීවිතයේ ප්‍රථම වරට මැතිවරණ සටනට ඉදිරිපත් වූයේ 1957 කුරුවිට කෝරළේ උඩපත්තු ගම් සභාවේ පුස්‌සැල්ල කොට්‌ඨාසයට තරග කිරීමෙනි. ඔහු එහිදී වැඩි ඡන්ද 308 කින් එම කොට්‌ඨාස ජය ගත්තේය. ඉන් අනතුරුව 1959 වර්ෂයේ රත්නපුර පළාත් ආණ්‌ඩු සභාවේ පුළිඟු පිටිය කොට්‌ඨාසයේ අතුරුමැතිවරණයට ඉදිරිපත් වූ හෙතෙම ඉන් විශිෂ්ට ලෙස ජය ගත්තේය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සංවිධායකයකු ලෙස රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ එම කටයුතු ප්‍රචලිත කිරීම තුළින් සරත් ජාතික දේශපාලන තලයට පිවිසීමට මාර්ගය පාදා ගත්තේය. 1960 මාර්තු 19 වන දින පැවැති මහමැතිවරණය සඳහා රත්නපුර කොට්‌ඨාසයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වී එහිදී තුන්වන ස්‌ථානයට පත්විය. ඔහු 1960 ජුලි මැතිවරණයට තරග නොකරන ලදී. එසේ වුවද රත්නපුර පළාත් ආණ්‌ඩු සභාවේ මැතිවරණයට ඉදිරිපත් වූ සරත් එහිදීද වැඩි ඡන්දයෙන් පුලිගුපිටිය කොට්‌ඨාසය නැවතත් ජය ගන්නා ලදී.
1965 මාර්තු මැතිවරණයේදී සරත් කොමියුනිස්‌ට්‌ පක්‍ෂයෙන් රත්නපුර ආසනයට තරග වැදීම සඳහා නාම යෝජනා ඉල්ලුවත් ඒ සඳහා ඔහුට ඉඩ ප්‍රස්‌ථා නොලැබිණි, ඉන් අධෛර්යයට පත් නොවූ සරත් ස්‌වාධීනව එම අසුනට ඉදිරිපත් වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අපේක්‍ෂකයාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ ලබා ගන්නා ලදී. 1970 මාර්තු 25 වන දින අගමැති ඩඩ්ලි සේනානායක මහතා සිය රජය විසුරුවා හරින ලදී. 1970 මහමැතිවරණයේදී කලවාන ආසනයේ සමගි පෙරමුණේ අපේක්‍ෂකයා වශයෙන් සරත් මුත්තෙට්‌ටුවෙගම මහතා ඉදිරිපත් කරන ලද අතර, ඔහු වැඩි ඡන්ද 4795 කින් එම ආසනය ජය ගන්නා ලදී. සමගි පෙරමුණ රජය තුළ කලවාන ජනතාවට නොමැකෙන සේවාවක්‌ ඉටු කිරීමට සරත් මුත්තෙට්‌ටුවෙගම මහතා සමත් විය. 1977 මහ මැතිවරණයේදී සුළු ඡන්ද සංඛ්‍යාවකින් ඔහු කලවාන ආසනයෙන් පරාජයට පත් විය. තමන්ගේ පරාජය කල්තියා දැනගත් හෙතෙම ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම සිය මැතිවරණ කොට්‌ඨාසයට ගොස්‌ සිය පාක්‍ෂිකයන් ආරක්‍ෂා කිරීමට මොහු එදා ගත් පියවර ඉතා ප්‍රශංසනීය විය.
1981 ජනවාරි 12 වැනි දින පැවැති කලවාන අතුරු මැතිවරණයෙන් ජය ගත් සරත් නැවතත් එහි මන්ත්‍රීවරයා වශයෙන් පත්විය. එවකට පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ රජයේ දහසක්‌ තාඩන පීඩන මධ්‍යයේ සරත් එම අසුන ජය ගන්නා ලදී. එවකට විරුද්ධ පක්‍ෂයේ නායකයා වශයෙන් සිටි ඒ. අමිර්තලිංගම් මහතා ඔහුගේ මැතිවරණ වේදිකාවට නැගීම විශේෂ සිදුවීමක්‌ විය. උතුරේ නායකයකු දකුණේ මැතිවරණ වේදිකාවකට ගොඩ වූ පළමු අවස්‌ථාව මෙය වන අතර ඔහුගේ ජාතිවාදී නොවන ප්‍රතිපත්ති සහ සාධාරණ තීරණය මෙයට ඉවහල් වන්නට ඇත.
මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ගේ දියණියක වූ මනෝරි කෝකිලා ද සිල්වා මෙනෙවිය සමග 1967 අගෝස්‌තු අගෝස්‌තු 02 වන දින විවාහ වූ සරත් සාර්ථක විවාහ දිවියක්‌ ගත කරන ලදී. ශ්‍රී ලංකාවේ පැවැති මුල්ව ජනාධිපතිවරණයේදී සිය මාමණ්‌ඩිය වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ලංකා සම සමාජ පක්‍ෂයෙන් ඒ සඳහා ඉදිරිපත්ව සිටියදී ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අපේක්‍ෂක හෙක්‌ටර් කොබ්බෑකඩුව ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළේය.
විපක්‍ෂ මන්ත්‍රීවරයකු වුවද, ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වුවද ඔහු සැමවිටම කටයුතු කර ඇත්තේ තමන්ගේ දර්ශනයේ පිහිටා තමන්ගේ පන්තියේ පීඩිත ජනතාව වෙනුවෙනි. ඔහු සමගි පෙරමුණු රජය තුළම මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදීම එදා අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභා පනතට විරුදAධ වීම පාර්ලිමේන්තු ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු සිදුවීමක්‌ විය. 1983-1986 අතර කාලය තුළ සෑම මසකම ඉදිරිපත් වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයේදී එයට විරුද්ධව වේගවත්ම කථාව කරමින් එම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ එකම මන්ත්‍රීවරයා වශයෙන් ඔහු පාර්ලිමේන්තු ඉතිහාසයට එක්‌ විය.
මෙසේ රටට ඵලදායි සේවාවක්‌ කළ මෙම යුග පුරුෂයා 1986 මැයි 18 ඉරුදින රත්නපුර නගරශාලාවේ පැවැති ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ දිස්‌ත්‍රික්‌ තරුණ සම්මේලනය අමතා ඉන් පසුව තවත් කටයුතු රැසකට සහභාගි වී ඇත. රාත්‍රී 9.00 ට පමණ එම කටයුතු අවසන් කර මිල්ලවිටිය සිය නිවසට යද්දී අතරමගදී දරුණු රිය අනතුරකට භාජනය වීමෙන් මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා ජාතියෙන් සමුගන්නා ලදී. ඔහු එදා මෙදාතුර ජීවත් වූයේ නම් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ දේශපාලනයේ විශාල පෙරළියක්‌ සිදුවන බව නොඅනුමානය. 1986 මැයි 22 වන දින මළ හිරු බැස යන සන්ධ්‍යා භාගයේදී රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී දහස්‌ සංඛ්‍යාත ජනකාය ඉදිරියේදී සරත් සමුගන්නා ලදී.