ලංකා ජාතික ශිෂ්‍ය සංගමය යනු මෙරට බිහිවූ පලමු ශිෂ්‍ය සංවිධානයයි.

Pages

ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර 70 වැනි සංවත්සරයේදී කල කථාව

අද ජුලි 03 දින අපේ පක්‍ෂයේ උපන් දිනයයි. ඒ නිමිත්තෙන් අද පවත්වන්නේ පක්‍ෂයේ 70 වන සංවත්සරයයි. මේ වසරේ, වමේ ව්‍යාපාරයේ ප්‍රභවය වශයෙන් සලකනු ලබන අධිරාජ්‍ය විරෝධී සූරියමල් ව්‍යාපාරයේ 80 වන සංවත්සරයද මේ වසරට යෙදී තිබෙනවා.

70 වසරක්‌ යනු මිනිසාගේ ජීවිතයේ ප්‍රමාණවත් කාලයක්‌ වුවද, දේශපාලන ව්‍යාපාරයක විශේෂයෙන්ම සමාජ ක්‍රමයක්‌ වෙනස්‌ කරලීම සඳහා වූ දීර්ඝකාලීන අරමුණු ඇති ව්‍යාපාරයක වසර 70 ක්‌, ඉතිහාසයේ කෙටි කාලයකි. අපේ පක්‍ෂය පිහිටුවනු ලැබුවේ යටත් විජිත යුගයේදීයි. 1943 දී නිල වශයෙන් එය පිහිටුවනු ලැබුවද, එහි මුල් ආරම්භය 1930 ගණන් දක්‌වා ඈතට දිවයයි. සමාජවාදී පක්‍ෂයක අවශ්‍යතාවක්‌ ගැන සිතූ අපේ ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෝ. එදා පූර්ණ නිදහස සඳහා වූ අරගලය හරහා, විවිධ අවධීන් තුළිනුයි එය ක්‍රමානුකූලව ගොඩනැගුවේ. කොළඹ තරුණ සංගමය (1929), සමස්‌ත ලංකා තරුණ සම්මේලනය (1931), සූරිය මල් ව්‍යාපාරය (1933). ලංකා සමාජ සමාජ පක්‍ෂය (1935), කොළඹ කම්කරු සමාජය (1940), සමාජවාදී එක්‌සත් පක්‍ෂය (1940) සහ ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය (1943) එම අවධීන් විය.

මුල සිටම වාගේ සම්බන්ධ වූ නායක මට්‌ටමේ පුරෝගාමීන් පස්‌ දෙනෙකි. දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, එම්. පී. මෙන්ඩිස්‌, පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි සහ ඒ. වෛද්‍යලිංගම්. මේ අවස්‌ථාවේ දී අපි ඔවුන් කෘතවේදීව සිහිපත් කළ යුතුය. ඔවුන් අපේ පක්‍ෂයට චින්තනය, දැක්‌ම, ශක්‌තිය, පන්නරය සටන්කාමිත්වය සහ ශික්‌ෂණය ලබා දුන්නහ.

අප පක්‍ෂයේ 70 වන සංවත්සරය පවත්වනු ලබන අවස්‌ථාවේ සූරියමල් ව්‍යාපාරයේ සහ ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක නායකයන්, ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්‌ලි ගුණවර්ධන, ඇතුළු සහෝදරවරුන්ද, අප ඉමහත් ගෞරවයෙන් හා කෘතවේදීව සිහිපත් කිරීම අප පක්‍ෂයේ සම්ප්‍රදායයි.

වමේ ව්‍යාපාරයේ ආරම්භක නායක සහෝදරවරුන්ගේ සහෝදර සබඳතා හා මිත්‍රත්වය ශිෂ්‍ය කාලය දක්‌වා දිවයනවා. කොළඹදී මෙන්ම ලන්ඩනයේදී ඔවුන් තුළ දේශප්‍රේමිත්වය සහ ජාත්‍යන්තරවාදය පිළිබඳ හැඟීම් පෝෂණය වූයේ අධිරාජ්‍ය විරෝධී අරගලය හරහායි. පූර්ණ නිදහස, කම්කරු අරගල, මැලේරියා මර්දන ව්‍යාපාරය, සූරියමල් ව්‍යාපාරය, මෙන්ම වැඩවසම් ක්‍රමය යටත් විජිතවාදය සහ කොම්ප්‍රදෝරු ධනවාදයට එරෙහි අරගල තුළිනි.

ඉකුත් වසර 70 තුළ, සහෝදරවරු ගණනාවක්‌ තම ජීවිත පූජා කළහ. තවත් අය සිරගෙවල් වල දඬුවම් විඳිමින් හා විවිධාකාර හිරිහැර, මර්දනයන්ට ලක්‌වෙමින් ක්‍රියා කළහ. දැනට අප තර නැති මෙන්ම අප අතර තවමත් සිටින ඒ සියලු සහෝදරවරුන් පක්‍ෂය වෙනුවෙන් තම හැකියාවන්. ශ්‍රමය, ධනය වැය කළහ. ඔවුන් සියලු දෙනාම අපි කෘතවේදීව සිහිපත් කරමු. විශේෂයෙන්ම, දීර්ඝ කාලයක්‌ සිරගතවූ, දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ, පූජ්‍ය උඩකැන්දවල සිරිසරණංකර හිමි, එම්. පී. මෙන්ඩිස්‌, වී. ඒ. සමරවික්‍රම, ඩී. පී. යසෝදියස්‌, ඩබ්ලිව්. එස්‌. ද සිල්වා යන සහෝදරවරුන් ගැන සඳහන් කළ යුතුයි.

අපේ පක්‍ෂය නීත්‍යනුකූල මෙන්ම නීති විරෝධී තත්ත්වයන් යටතේ ක්‍රියාකොට තිබේ. පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ වසර 47 ක්‌ද, ආණ්‌ඩු පක්‍ෂයේ ආණ්‌ඩු තුනක්‌ යටතේ වසර 23 ක්‌ද, කටයුතු කර ඇත්තෙමු.

අපේ පක්‍ෂය, පරාජයන්, පසුබැසීම්. තහනම් කිරීම්වලට ලක්‌වී තිබේ. එමෙන්ම විවිධාකාරයේ බොරු චෝදනා , අවලාද, පහරදීම්, ඝාතනවලට ද ලක්‌විය. අප පක්‍ෂය වැරදි සිදු නොවූ පක්‍ෂයක්‌ නොවේ. සිදුවූ වැරදි පිළිගත්, ඒවා නිවැරදි කරගත්, ඒවා ජනතාව ඉදිරියේ විවෘතව පිළිගත් පක්‍ෂයකි. ඒ සඳහා අපට අභ්‍යන්තර ශක්‌තියක්‌ තිබිණි. අපේ පක්‍ෂය ස්‌වයං විවේචනය ගුරුකොට ගත් පක්‍ෂයකි. උපක්‍රමවලදී මෙන්ම ඇතැම් අවස්‌ථාවල උපාය මාර්ගයේදී අප අතින් වැරදි සිදුවී තිබේ. එහෙත්, අප කවදාකවත් ත්‍රස්‌තවාදය වැළඳගත් පක්‍ෂයක්‌ නොවේ. අපේ අත්වල ලේ තැවැරී නැත. දේශපාලන වාසි නොතකා, අප ප්‍රතිපත්තිමය දේශපාලනයේ නිරතවූ පක්‍ෂයකි.

අපේ රටේ සමාජ සංවර්ධනයේදී වමේ සෙසු සහෝදර පක්‍ෂ සමඟ වෙන් වෙන් වශයෙන් මෙන්ම, සාමූහිකව දායකවී තිබෙනවා. අපේම ආණ්‌ඩුවක්‌ අප නොපිහිටුවද, විපක්‍ෂයේ සිටීමත්, හා සන්ධාන ආණ්‌ඩුවල කොටස්‌කරුවන් වශයෙන් අපේ දැනුම, බුද්ධිමය අත්දැකීම්, හැකියාව, චින්තනය, සංකල්පයන් රටේ පොදු යහපත සඳහා දායාද කොට ඇත. අද ශ්‍රී ලාංකිකයන් වශයෙන් රටේ සාක්‌ෂරතාවය, අධ්‍යාපන මට්‌ටම, සෞඛ්‍ය සේවා සහ සමාජ සුරක්‌ෂිතතාවය ගැන අපි අද ආඩම්බර වෙමු. අපි අසල්වැසි රටවලට වඩා ඒ අංශවලින් ඉදිරියෙන් සිටිමු. එය සිදුවූයේ කෙසේද? රාජ්‍ය මන්ත්‍රී සභා දෙකේ සහ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවල පිටු පෙරලුවහොත් ඊට පිළිතුරු සොයා ගත හැකියි. ඒ අපේ වමේ ව්‍යාපාරයේ නායකයින්ගේ බුද්ධිමය දායකත්වයයි. සමාජ චින්තනයට වූ දායකත්වයයි.

1930 ගණන්වල සිට, මෙරට කම්කරු පන්තියට, ගොවි ජනතාවට, රජයේ සේවකයන්ට, ගුරුවරුන්, කාන්තාවන්, තරුණයන්. ශිෂ්‍යයන් හා දරුවන්ගේ අයිතීන් බොහෝ සේ ලබා දී ඇත්තෙමු. ඒ අරගල තුළිනි. අප පාසල් සිසුන්ගේ හැකියාවන් මොට්‌ටකළේ නැත. විකෘති කළේ නැත. අපි ඔවුන්ගේ බුද්ධි මහිමය දියුණු කළෙමු.

අපේ පක්‍ෂයේ අභිමානවත් ඉතිහාසය තුළ ත්‍රස්‌තවාදය හා ප්‍රචණ්‌ඩත්වය දැකිය නොහැකිය. අපේ අත්වල ලේ නැතැයි කියා සිටියේ ඒ නිසයි. එය කොමියුනිස්‌ට්‌වරුන්ගේ, මාක්‌ස්‌වාදීන්ගේ ක්‍රමවේදය නොවේ. ජාතික විමුක්‌ති ව්‍යාපාරයේ සන්නද්ධ අරගලවලදී පවා, සටනේදී මිය ගියහොත් මිස, සතුරෙකු වුවද, ඝාතනය කිරීම තහනම්ය. හිංසා කිරීම තහනම්ය. හොඳම ආදර්ශය වියට්‌නාම් හා කියුබානු දේශප්‍රේමී අරගලයි. කොමියුනිස්‌ට්‌වරුන්ට අවශ්‍ය මිනිසුන් ජීවත්කරවීම මිස මරාදැමීම නොවේ. කොමියුනිස්‌ට්‌වරුන් ලොවේ උත්තරීතර මානවවාදීන් වන හෙයිනි. දෘෂ්ඨිමය, ක්‌ෂේත්‍රය තුළ, කොමියුනිස්‌ට්‌ විරෝධයට එරෙහිව දැවැන්ත සටනක යෙදීමට අපට සිදුවිය. සමාජය වැළඳගෙන තිබූ මිථ්‍යා මත, අද්භූත, විශ්වාස, හනමිටි අදහස්‌වලට එරෙහිවත්, තරුණ පරම්පරාව තුළ විද්‍යාත්මක ලෝක දැක්‌මක්‌ ඇති කරලීම සඳහාත් අපේ ව්‍යාපාරයේ ආරම්භයේ සිටම ක්‍රියාකරන්නට සිදුවිය. ඒ සඳහා ප්‍රගතිශිලී අදහස්‌ ප්‍රචලිත කරලීම සඳහා පුවත්පත්, සඟරා පළකිරීමට සිදුවිය. මෙහිදී අපි විශාල මෙහෙයක්‌ ඉටුකළ සහෝදර සහෝදරියන් රාශියකි. පූජ්‍ය උඩකැන්දවල සිරිසරණංකර, පීටර් කේනමන්, හේඩි කේනමන්. කේ. රාමනාදන්, ඊ. එස්‌. රත්නවීර, ප්‍රේමලාල් කුමාරසිරි, හැරී අබේගුණවර්ධන, එන්. ශන්මුගදාසන්, එච්. පී. එස්‌. රත්නවීර, නිමල් කරුණාතිලක, හේම ද සිල්වා, බී. ඒ. සිරිවර්ධන, සුරත් අම්බලන්ගොඩ, එච්. එම්. පී. මොහිඩීන්, පී. මලල්ගොඩ, පී. රාමනාදන්, එස්‌. කන්දස්‌වාමි, බැසිල් පෙරේරා, මෝඩ් කේනමන්, ඒ. ඒ. ලතීµa අප අතර අද නැති ඒ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරමු.

ඒ කර්තව්‍යයේදී අපේ සමහර කතුවරුවන් හා ප්‍රකාශකයන්ට වසර 1 – 5 දක්‌වා බරපතළ වැඩ ඇතිව සිරබත්කන්නට සිදුවුණා. දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ, පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර, බෙනට්‌ සිල්වා, ඩී. පී. යසෝදිස්‌ පළමුවන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 (3)-+ වගන්තිය යටතේ දොස්‌තර වික්‍රමසිංහයන්ගේ ඡන්ද බලයද ඉවත් කරනු ලැබුවා. 1947 මහා මැතිවරණයට තරග කිරීම වළක්‌වාලීමට අතීතයේ සිට බලපාන අන්දමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඒ වගන්ති ඇතුළත් කළා. ඉතිහාසයේ සිරිබත් කෑ පළමු මාධ්‍යවේදියාත්, ප්‍රකාශකයන් දෙදෙනාත් අපේ පක්‍ෂයේ සාමාජිකයන්.

අපේ පක්‍ෂයේ ජාතික සම්මේලන අපේ ව්‍යාපාරයේ මෙන්ම රටේ ඉතිහාසයේ ජය ස්‌ථම්භයන්. ඒ සම්බන්ධයෙන් විස්‌තර ඉදිරිපත් කිරීමට වේලාවක්‌ නැහැ. පක්‍ෂයේ දෙවන ජාතික සම්මේලනයේදී ස්‌වාධීනත්වය සම්පූර්ණකරලීමට හා ජාතික නිදහස තහවුරු කරලීමට අප ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණක්‌ අවශ්‍ය කියා සිටියා. 1950 සතරවන ජාතික සමුළුව, ශ්‍රී ලංකාවේ විප්ලවයේ අවධිය, පුළුල් ප්‍රගතිශීලී පෙරමුණක අවශ්‍යතාව, ඊට හවුල් කර ගත යුතු සමාජ බලවේගයන් හඳුනාගත්තා. එදා පුළුල් සන්ධානයක්‌ යනු වමේ ව්‍යාපාරයට ගෝචර වූ දෙයක්‌ නොවෙයි. එහෙත් අප ඒ ඓතිහාසික කාර්යභාරය සඳහා තියුණු දෘෂ්ඨිමය අරගලයක්‌ ගෙන ගියා. අපේ පක්‍ෂය තුළම වමේ නිකායවාදයට එරෙහි අභ්‍යන්තර අරගලයක්‌ ගෙන ගියා. සමාජ සංවර්ධනය නැත්නම් ඉදිරිගමන සඳහා ඓතිහාසික අවශ්‍යතාවන් වශයෙන් පිහිටුවනු ලැබූ සියලු වර්ගවල පෙරමුණු ආණ්‌ඩු එම දෘෂ්ඨිමය අරගලයේ පැහැදිලි ප්‍රතිඵලයන්ය.

1947 මහා මැතිවරණය අවසන් වූ වහාම පවා එවැනි ප්‍රගතිශීලී ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට උත්සාහයක්‌ දැරුවා. එදා ශ්‍රී නිශ්ශංකයන්ගේ නිවසේ පැවැති ඓතිහාසික “යමුනා” සම්මේලනය එවැනි අහිමි වූ අවස්‌ථාවක්‌. එය සාර්ථක වූවා නම් නිදහසින් පසු පළමුවන ආණ්‌ඩුව ප්‍රගතිශීලී ආණ්‌ඩුවක්‌ වන්නට තිබුණා. 1956 දී ලබාගත් ජනතා ජයග්‍රහණ 1947 දී ලබාගන්නට හැකියාව තිබිණි. අප මුහුණ දෙන ජාතික ගැටලු මගහරවා ගන්නට තිබුණා. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම 1947 දී පටන් ගන්නට තිබුණා. කම්කරු පන්තිය පැත්තෙන් ගත් කල, අද ඔවුන් භුක්‌ති විඳින සියලු අයිතීන් හා වරප්‍රසාද අප අරගල තුළින් ලබාදුන් ඒවායි. විශේෂයෙන්ම විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල් ආදිය වශයෙන් අප අද පමණක්‌ නොව සැමදා ජාතික සමගිය වෙනුවෙන් සටන් කළ අයයි. වර්ගවාදයට, ජාතිවාදයට, මූලධර්මවාදයට, සියලු ආකාරයේ බෙදීමේ ප්‍රවණතාවන්ට එරෙහිව සටන් කළා. මේ ප්‍රවනතා දැන් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළට රිංගා තිබෙනවා. මෙම අභියෝගයන්ට අප මුහුණදිය යුතුයි.

ලොවේ ජනගහනයෙන් සියයට 40 ක්‌ අද ජීවත්වන්නේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂ බලයේ සිටින හා බලයට හවුල්කාරී වී සිටින රටවලයි. තවත් වමේ ආණ්‌ඩු බලයට පත්වී තිබෙනවා. ලොවේ ජනගහනයෙන් අඩක්‌ම සමාජවාදය දීර්ඝකාලීන විකල්පයක්‌ වශයෙන් තෝරාගෙන තිබෙනවා. සමාජවාදය අතීතයට අයිති දෙයක්‌ නොව, මානව වර්ගයාගේ අනාගතයයි.

අපේ අසල්වාසි නේපාලය (බුදුන් උපන් රට) දකුණු ආසියානු කලාපයේ වඩාත්ම පසුගාමී රටයි. එහි තිබූ ලොවේ එකම හින්දු රාජාණ්‌ඩුව වෙනුවට නව ජනරජයක්‌ බිහිවී තිබෙනවා. එහි කොමියුනිස්‌ට්‌ පක්‍ෂ දෙක රටේ ප්‍රධාන බලවේගය බවට පත්වී තිබෙනවා. ඔවුන් අතර දෘෂ්ඨිමය වශයෙන් වෙනසක්‌ තිබුණද, නව ප්‍රගතිශීලී ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට එකඟවී තිබෙනවා. අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරනවා. එය නිර්ආගමික (Seජමක්‌ර) ප්‍රජාතන්ත්‍රවාදී, සංදිය, භෞමික වශයෙන් අඛණ්‌ඩ, ඒකාග්‍රතාවයන් යුත් ආණ්‌ඩු ක්‍රමයක්‌ සම්පාදනය කරනු ලබනවා. එම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන කමිටුවේ සභාපති වශයෙන් ක්‍රියා කළේ අද අප සංවත්සරයට සහභාගි වන මාධව කුමාර් නේපාල් සහෝදරයායි. මේ වසර වනවිට අපේ රටේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට වසර 35 කි. 1977 න් එම ප්‍රතිපත්තීන් වැළඳ ගත් අපේ රටටද, අහිතකර, හානිකර ආර්ථික ප්‍රවණතාවලට මුහුණදීමට සිදුවී තිබෙනවා. ස්‌වභාවික ආපදාවන්ට අමතරව, වාර්ගික යුද්ධයට ද මුහුණ දීමට සිදුවුණා. අප ඉන් යම් ප්‍රමාණයකින් දුරස්‌වී තිබුණද එම රාමුව තුළයි අපට ක්‍රියාත්මක වීමට සිදුවී තිබෙන්නේ. අද දකින සමාජ අර්බුදයට හේතුව එයයි. අද අප ජීවත්වන විසි එක්‌වන ශතවර්ෂය තුළ කොතෙක්‌ ජයග්‍රහණ ලබා තිබුණද, අප වඩාත් සංකීර්ණ ප්‍රශ්නවලට මුහුණපාමීන් සිටිමු. අධිරාජ්‍යවාදය, ස්‌වාභාවික සම්පත් සූරාකෑමත්. කෲරකමත් ලෝක ජනතාව පාලනය කිරීමේ යෙදී සිටිති. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතීන් සහ නිදහසට මුවාවී ලොව පුරා යුද ආක්‍රමණ දියත් කරමින් රටවල් බෙදා වෙන් කරමින් සිටී.

ජාතික වශයෙන් අප හමුවේ ප්‍රධාන අභියෝග සතරක්‌ තිබේ.

පළමුව – ජාතික ප්‍රශ්නය

යුද්ධය නිමාවට පත්වීමෙන් පසු ඉතිහාසය විසින් අපට යළිත් අවස්‌ථාවක්‌ ලබාදී තිබෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ සෙවීමට. මේ සඳහා අප ගත යුත්තේ හැඟීම්වලට වහල් නොවූ බුද්ධිමත් ප්‍රවේශයක්‌. අප අපේ රටේ ඉතිහාසයෙනුත්, අන් රටවල ඉතිහාසයෙනුත් පාඩම් උගත යුතුයි. සුළුතරය වශයෙන් සලකනු ලබන ජනතාවට, අභිමානයක්‌, ආත්ම ගෞරවයක්‌ සහ අනන්‍යතාවක්‌ තිබෙන බව අප වටහා ගත යුතුය. අපට වැරදුනු තැන, භාෂා ප්‍රශ්නයෙන් උගත හැකිය. දමිළ භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධ වූ අප වසර 30 කට පසුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින්ම දමිළ බස රාජ්‍ය භාෂාව බවට පත් කළා. එය ක්‍රියාත්මක වන්නට පටන්ගත්තේ මේ මෑතක සිටය. එය සිදුවන්නේ තවත් වසර 20 කට පසුවයි. දැන් සියලු පක්‍ෂ දමිළ භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගන්නවා. එදා පිළිගත්තේ නැහැ. ඒ නිසා සිදුවී විනාශය කොතරම්ද?

බලය බෙදීම ගැන තිබෙන්නේත් එවැනි හුඹස්‌ බියක්‌. සිතින් මවාගත් බියක්‌ එසේ නම් ඡන්ද පදනම නැතිවේ යෑයි යන පදනම් විරහිත බියක්‌. ජාතික ප්‍රශ්නවලදී අප ජනතාවට නායකත්වය දිය යුතුයි. සමාජ චින්තනය සැපයිය යුත්තේ නායකයන්. අධිෂ්ඨානයත්, කැපවීමත්, නොසැලනෙ නායකත්වයත් ඊට අවශ්‍යයි. මෙහිදී අප නෙල්සල් මැන්ඩෙලාගෙන් පාඩම් උගත යුතුයි.

දෙවනුව – නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව

අප වසර 25 ක්‌ සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ ද වසර 6 ක්‌ පළමුවන ජනරජ ව්‍යවස්‌ථාව යටතේද අවුරුදු 35 ක්‌ ෙ-. ආර්. ගේ. ව්‍යවස්‌ථාව යටතේද ජීවත්වූවා. ආපසු හැරී බැලූවිට නිදහසින් පසු 1978 න් පසු තරම් අවුල් වියවුල් තිබූ කාලයක්‌ ඉන් පෙර තිබූ ව්‍යවස්‌ථාව යටතේ තිබුණේ නැහැ. ඒ ඉංග්‍රීසි – ප්‍රංශ – අමෙරිකානු ව්‍යවස්‌ථාවල සංකලනයේ ප්‍රතිඵලයක්‌. නව ලිබරල්වාදය ස්‌ථාපිත කිරීමට ගෙන ආ ව්‍යවස්‌ථාව. හැම ක්‍ෂේත්‍රයකම අර්බුද ඇතිකරලා තිබෙනවා. සියලු පක්‍ෂ එකතුවී අප අලුත් ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කළ යුතුය.

තුන්වෙනුව – ආර්ථික ක්‍ෂේත්‍රය තුළ

අප ඉකුත් වසර 07 තුළ වේගවත් ආර්ථික වර්ධනයක්‌ සිදුකොට තිබෙනවා. එහෙත් එම සංවර්ධනය තුළින්ම සමාජ අර්බුදයක්‌ නිර්මාණය වෙමින් තිබෙනවා. මෙය අප විසින් කළමනාකරණය කළ යුතුයි. ඒ සඳහා වූ සංකල්පමය, ප්‍රතිපත්තිමය තීරණ ගැනීම අවශ්‍යයි. ආර්ථික වර්ධනය ජනතාවගේ ජීවිත තුළින් පිළිබිඹු විය යුතුයි. මහා භාණ්‌ඩාගාරය තුළින් පිළිබිඹු විය යුතුයි. මේ දෙකම සිදුවන්නේදැයි ප්‍රශ්නයකි. ඇති නැති පරතරය පුළුල්වීම, නව ලිබරල්වාදයේ ගති ලක්‌ෂණයකි. කදිම නිදසුන, නව ලිබරල්වාදය පළමුවෙන්ම ස්‌ථාපිත කළ චිලී රාජ්‍යයයි.

සතර වෙනුව – අපේ ජාත්‍යන්තර සබඳතා

අප සියලු රටවවල ජනතාව සමඟ මිත්‍ර සබඳතා තබාගත යුතුයි. එසේ වුවද ලෝක රටාව, ලෝක බලතුළනය පිළිබඳව යථාර්ථය තේරුම්ගත යුතුයි. විවිධ රටවල ගෝලීය උපායමාර්ග මෙන්ම භූ දේශපාලනික අවශ්‍යතා තේරුම්ගත යුතුයි. අපේ අභ්‍යන්තර ප්‍රශ්න අප විසින්ම විස¹ගත හොත් කිසිදු රටකට අපේ කටයුතුවලට ඇඟිලි ගැසීමට කොන්දේසි ඇති නොවෙනු ඇත. අපේ ජාතික ශක්‌තිය නංවාලීම අවශ්‍ය වන්නේය. ජාත්‍යන්තර කීර්තිය ද නංවාලිය යුතුය.